පොසොන් උදානය – 2019 ජුනි මස 15 සහ 16 දෙදින
බුදු තෙමඟුල සැමරිම උදෙසා බෞද්ධාලෝක මාවත පුරාවට පුරා වසර 18ක් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් බෞද්ධාලෝක වෙසක් වැඩ සටහන අති සාර්ථකව පවත්වා ගිය මුත්, පසුගියදා සිදු වු අවාසනාවන්ත ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් මෙවර එම බෞද්ධාලෝක පොසොන් කලාපය ලෙසට අප විසින් ප්‍රතිපත්ති පූජාවට මූලිකත්වය ලබා දෙමින් ඓතිහාසික සෙංකඩගල පුරවරයේ ගෙඩිගේ විහාරස්ථානයේ සිට වැඩම කරනු ලබන සර්වඥධාතුන්වහන්සේලා වැද පුදා ගැනීම, ආමිස පූජාවක් ලෙස කච්චානි ජාතකය පිළිඹිබු කෙරෙන තොරන ශ්‍රී ලංකාවාසී ජනතාවට නැරඹීමට ඉඩ ප්‍රස්ථාව සළසා ඇත. මෙහිදී විශේෂත්වය වනුයේ ශ්‍රි ලංකාද්වීපයේ ප්‍රමුඛතම බෞද්ධායතනය ලෙස සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට සිය වසරක් සපිරිම සනිටුහන් කරන “ශත සංවත්සර වර්ෂය” ප්‍රකාශයට පත් කිරිමය.

බෞද්ධ සාහිත්‍ය උත්සවය – 2019.09.19 දින ප.ව.3.00 – BMICH
ශ්‍රී ලංකාද්වීපයේ සාහිත්‍ය උත්සව බොහොමයක් දිගු කලක සිට පැවතියද “බෞද්ධ සාහිත්‍ය උත්සවයක්” ආරම්භ කිරිමට කටයුතු කළේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් බව සතුටින් සඳහන් කරනු කැමැත්තෙමු. සම්මේලනයේ සියවසට සමගාමිව මෙවර බෞද්ධ සාහිත්‍ය උත්සවය 2019.09.19 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියලූ කටයුතු සුදානම් කර ඇත.

බොදු සමුළු සියවස් දඹදිව චාරිකාව – 2019.10.09 සහ 10 දෙදින
බොදු සමුළුව විසින් දඹදිව චාරිකා වැඩ සටහන් වසර 2,000 දී ආරම්භ කෙරුණ අතර සියවස් සැමරුම වෙනුවෙන් මෙවර දඹදිව චාරිකා දෙකක් වන්දනා බැතිමතුන් සියයක් 2019.10.09 සහ 10 දෙදින චාරිකා දෙකක් ලෙස සංවිධානය වෙමින් පවතී.

සියවස් සමරු උත්සවය – 2019.11.15 වන දින පෙරවරුවේ BMICH
ඕනෑම සංවිධානයක් වසර සියයක් සාර්ථකව පවත්වාගෙන යාම විශේෂත්වයකි. මෙම සුවිශේෂ අවස්ථාව අතිඋත්සවාකාරයෙන් සැමරීමට ජාතික සමාජයීය හා ශාසනික වැඩ සටහන් රාශියක් සංවිධානය කරමින් පවතී. ඒ වෙනුවෙන් පැවැත්වෙන සියවස් සමරු උත්සවය 2019.11.15 දින අතිපුජ්‍ය මහානායක මාහිමිපාණන්වහන්සේලා සහ රාජ්‍ය මහාමාත්‍ය ආදින්ගේ සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් පවතී. එම අවස්ථාව සනිටුහන් කිරිම සඳහා සියවස් සමරු මුද්දරයක් නිකුත් කිරීමට කටයුතු සංවිධානය කරමින් පවතී.

සංවත්සර ප්‍රසංගය (තරු මුතු දරු) 2019.11.15 වන දින පෙරවරුවේ BMICH
අප සම්මේලනය විසින් දෙමව්පිය සෙනෙහස නොලබන අසරණ දරු දැරියන් වෙනුවෙන් දිවයින පුරා පවත්වාගෙන යනු ලබන ළමා සංවර්ධන මධ්‍යස්ථාන 18ක් ඉතා සාර්ථකව පවත්වා ගෙන යන අතර එම නේවාසික දරුවන්ගේ සහජ හැකියාවන් ඔප් නැංවීම සඳහා සංවිධානය කරන තරු මුතු දරු ප්‍රසංගය මෙවර සියවස් සංවත්සර ප්‍රසංගය ලෙස 2019.11.15 දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියලූ කටයුතු සුදානම් කොට ඇත.

ශාසන වීර දින පිරිත් සජ්ඣායනය – 2019.12.20 සහ 21 යන දෙදින
පසුගිය වසර සියයක් පුරා සම්මේලනයේ අභිවෘද්ධිය වෙනුවෙන් තම කාලය ශ්‍රමය ධනය වැය කොට අභාවප්ප්‍රාප්ත ආදි කර්තෘවරුන්ටත් සහ රට දැය වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ටත් පිං පිණිස සහ එම කටයුතුවල නිරත වත්මන් නිලධාරි සහ සාමාජික භවතුන්ටත් සෙත් ප්‍රාර්ථනා කිරිම අරමුණු කරගෙන ශාසන වීර දින පිරිත් සජ්ඣායනය 2019.12.20 සහ 21 යන දෙදින තුළ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් පවති.

සියවස් සමරු ගම්මානය – රත්නපුර කහවත්ත අටකලන්පන්න
අප වෙත පැට්‍රික් ලූවි අමරසේකර මුදලිදු විසින් පරිත්‍යාග කරන්නට යෙදුන රත්නපුර කහවත්ත අටකලන්පන්න ග්‍රාමයේ අක්කර 35 ක භුමි භාගයක් සම්මේලනයේ සියවස් සමරුම වෙනුවෙන් නිවාස 50 කින් සමන්විත සියවස් සමරු ගම්මානයක් ආරම්භ කිරිමට මේ වන විට සියල්ල සුදානම් කර ඇත.
මීට අමතරව නැගෙනහිර පළාතේ පූනානි ග්‍රාමයේ තවත් නිවාස 50 ක ව්‍යාපෘතියක් අඩු ආදායම්ලාභි සිංහල බෞද්ධ පවුල් 50ක් සඳහා නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ක්‍රියා කෙරේ.

ථෙරි ගාථා සංගීත සන්ද්වනීය
බෞද්ධ සාහිත්‍ය තුළ සුප්‍රසිද්ධ ථෙරිගාථා පදනම් කරගත් සංගීත වැඩ සටහනක් නිර්මාණය කොට සියවස් සැමරුම වෙනුවෙන් එළිදැක්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ප්‍රණාම පිරිනැමීම
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ශත සංවත්සරය වෙනුවෙන් විවිධ සේවාවන් සිදු කළ සාමාජික සාමාජිකාවන් ඇගයීම සහ සම්මේලනයට පරිබාහිරව ජාතික සමාජයීය සහ ශාසනික සේවාවන් සිදු කළ බෞද්ධ නායකයින්ට ප්‍රණාම පිරිනැමීම් කොට ඇගයීමට ලක් කිරිමට සංවිධානය කරමින් පවතී.

ගමයි පන්සලයි ව්‍යාපෘතිය
වර්ෂ 2004 දී දීර්ඝ ලෙස සාකච්ජා කොට පිලියෙල කරන ලද “බෞද්ධ පුනරුද ක්‍රියාවලියේ” මූලික අවශ්‍යතාවයක් ලෙස හදුනාගෙන ඇති උතුරු නැගෙනහිර පිහිටි වෙහෙර විහාර සංවර්ධනය කොට ගම සංවර්ධනය කිරීමේ වැඩ සටහන සම්මේලනයේ සියවස වෙනුවෙන් “ගමයි පන්සලයි” ව්‍යාපෘතිය ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරේ.

වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය
අප සම්මේලනය විසින් පාලනය කරනු ලබන ළමා සංවර්ධන මධ්‍යස්ථාන වෙතින් වයස අවුරුදු 18 ඉක්ම වු පසු තම ඉදිරි ජිවිකාව සාර්ථකව කර ගෙන යාම සඳහා පවත්වාගෙන යනු ලබන වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක් මෙ වන විට පානදුර විජේවර්ධන ළමා සංවර්ධන මධ්‍යස්ථානයට අනුබද්ධව ගැහැණු දැරියන් වෙනුවෙන් පවත්වා ගෙන යනු ලැබේ.
සම්මේලනයේ සියවස වෙනුවෙන් මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය තවදුරටත් වැඩි දියුණු කිරිමටත්, ඊට අමතරව පිරිමි දරුවන් වෙනුවෙන් පලාතොට අපටම අයත් භූමි භාගයක වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරිමටත් කටයුතු සම්පාදනය කරමින් පවතී.

ජාතික ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයේ යෝජනා එළි දැක්වීම
අප රටටම ආවේනික වු ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය ගරුතර මහා සංඝරත්නය ඇතුළු බෞද්ධ ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවයක් ලෙස අප සම්මේලනයට කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අප විසින් ජාතික ප්‍රතිපත්ති සම්පාදන මණ්ඩලයේ යෝජනාවලිය එලිදැක්වීම මේ වන විට විද්වත් සාකච්ජා සිදුවෙමින් පවතින අතර, එම එළිදැක්වීමට සම්මේලනයේ සියවසට සමගාමිව සියළු රාජ්‍ය නායකයන් දේශපාලන පක්ෂ හා අදාල පිරිස් වෙත පිරිනැමීමට සුදානම් කරමින් පවතී.

බෞද්ධ හිමිකම් කොමිෂන් සභා වාර්තාව
බොහෝ විට අපගේ බෞද්ධ හිමිකම් ගිලිහෙමින් පවතින බවට සියලූ පාර්ශවයන්ගෙන් අප වෙත පැමිණෙන දැනුම් දීම් වලට පිලියමක් ලෙස අප විසින් රටේ පිලිගත් විද්වතුන්ගේ සහභාගිත්වයෙන් බෞද්ධ හිමිකම් කොමිෂන් සභාවක් 2018 පොහොසන් පොහෝ දින ඓතිහාසික මිහින්තලා පව්වේදී ප්‍රතිස්ථාපනය කෙරුණු අතර, විද්වතුන්ගේ හා බෞද්ධ සමිති සමාගම්වල සාක්ෂි විමසීම් අවසන් අදියරයේත් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි මහජන සාක්ෂි විමසීම් සිදු කරමින් පවතී. එහි අවසන් වාර්තාව “සියවස” සමරන වසර තුළ එළි දැක්වීමට සියලූ කටයුතු සුදානම් කරමින් පවතී.